මට නොපායපු මගේ සඳ




ඔබ එනෙන වග දත් නිසා
ඊයෙටත් වැඩියෙන් හැඩවෙලා
පුන් පෝය දා උදේ ඉඳලම
මගේ ගෙමිදුල හැඩකලා

මිදුල හතරකොන වැට තනා
ඉනි කඩුල්ලද කලියෙන් වසා
බලා උන්න ඔබ නැගෙන තුරු
මගේ පිල් දොරකඩ වෙලා

ඔබ පෑව්වම මගේ මිදුලට
ඒ සඳ එලියෙන් හෙවනැලි මැවුනම
කාටත් නෑ ඒ සිසිලස මටමයි
ගන්නත් බෑ මගෙ ඉනි වැට හයියයි

පිලේ පැදුරේ දිගැදිලා
ඔබේ උවනත දෙස බලා
ඉන්නවා මම පහන් වෙනතුරු
ඔබ මගෙන් නික්මෙන තුරා

ඔබ පෑව්වම මගේ මිදුලට
එලිය වෙයි මගේ දුගී පැල්පත
ඔබේ සෙනෙහේ සිසිල් සුවයෙන්
සැනහේවි මේ කුමුදු මල් වුව

නැති හින්ද වෙන කාටවත්
බැරි හින්ද එය ගන්නටත්
උන් බලයි ගෙමිදුල දිහා
ඉරිසියා නෙත් කරකවා

ඉපිල යනවා සිත මගේ
පායා එයි සඳ නුබ ගැබේ
ඔබ මගේ සඳ ඔබ මගේ
කෑගසයි හදවත මගේ
.
.
.
.
.
.
මම හිතුවේ.......
මම හිතුවෙ මට කියල විතරයි
ඒත් ඇයි අර එහා ගෙදරත්
ඔබේ සුදුමුදු රිදී එලියෙන්
ගෙමිදුලේ රූ රටා ඇදිලා.......

කොහොම ඉන්නද ඉවසලා
කදුලු යයි දෙනුවන පලා
මගෙම විතරයි සිතා උන්නත්
කෝ නෑනේ මට විතරක් වෙලා.......

ඔබ මගෙම වූ සඳ නොවේ
මටම පෑයූ සඳ නොවේ
වෙනද වාගේම හැමට පායන
පුන් පෝයදා සඳම වේ.......

බලා ඉමි නෙත් බොඳ වෙලා
ඇයිද මා මේ රැවටිලා
සිතේ ගිනි දලු ඇවිල එද්දී
ඔබ හිඳී අහසට වෙලා....
මට නොපායපු මගේ සඳ ඔබ
ඔබ හිඳී අහසට වෙලා......

Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...