එතෙක්




ලියන ලියන කවියක් ගානේ
කියව කියවා ගියද ඔබ,
ලියූ හැම පදයක්ම
ඔබට ලියූ වග
කවිය කියවන ඔබට
නොතේරෙන වග දනිමි.

මා ලියූ කවි පේලි
තේරුන යම් දිනකදී
ඔබෙන් නොලැබෙන ආදරෙන්
මගේ හිත හඩන හැටි,
ඔබට ඇහේවි.....

එතෙක්,

මම ලියමි,
ඔබ කියවාවී,

විදවූ ආදරේ


සිනිදු සුමුදු වලාකුලේ
ලියපු ආදරේ,
මලක තියන රේණු අතරෙ
සැඟවූ ආදරේ,
හමන ලෙලෙන සිහිල් සුලඟ
සොයපු ආදරේ,
මහද පුරා ඔබේ නමින්
තියෙන ආදරේ.......

නුවන් පුරා කඳුලු හෙලා
විදවූ ආදරේ......
හිතක් පුරා දුකක් දරා
විදවූ ආදරේ......
පෙරුම් පුරා පතා අවිත්
විදවූ ආදරේ......
ඔබ නොදන්න ඔබට තියෙන
මගේ ආදරේ.......







පෙම් කුමරු



පෙම් මල්දම මා කරමත පවරා
පෙම් හසරැලි මුව කමලේ සරසා
පෙම් ලොවකට මා යන්නට කැන්දා
පෙම් කුමරුණි ඔබ එන්නේ කවදා

සුසිනිඳු රන්වන් සේල ඕනි නෑ මගේ වෙලා ඔබ හිටියොත් මට ඇති..
දිදුලන මුතුමිණි රිදී ඕනි නෑ මගේ ලඟින් ඔබ හිටියොත් මට ඇති..

සුරලොව හැම සැප එතකොට දැනේවි
හදවත පුරවා ආදරේ හිතේවි....




ආදරයයි..


මගේ සිතින් සොඳුරු සිතුම්
ඈත ගිහින් මටත් හොරෙන්
සිව් විසි නිති පැය පුරාම
සිහින මවමි සෙමින් සෙමින්

දෑසින් දෑසට දෙතොලින් දෙතොලට
සෙමින් ගලා යන ආදරයයි
දෑඟිලි පටලා වෙනතක් නොබලා
ලොව අමතක කල ආදරයයි...

ඔබ නැත මාගේ තනියට මේ රෑ
නමුදු සිහින සුව දේ
පෙරුම් පුරන්නෙමි හෙට එලිවෙන්නට
සිනා දකින්නට ඔබගේ දෙනෙතේ....





මිහිරි රහස


මලක මෙලෙක තියෙන ලමැදෙ
හිස හොවාන කියපු රහසෙ
කොපුල ලවණ වැදුන මොහොතෙ
කොඳුර කියපු මිහිරි රහසෙ

රකිමි සුරඟ ලියක විලසෙ
හොවමි අතුල රෝස යහනෙ
ඔබම පමනි මගෙම අහසෙ
කොඳුර කියපු මිහිරි රහසෙ

වැස්ස


මවමින් රටා නුබ ගැබ පුරා
පාවෙනු පෙනෙයි කලුවන් වලා
කන්දට එහා අඩකව සැදී
සිත් රූ මවන් දේදුන්නකී

වැහි බිඳු වැටේ සිළිසිළි දිදී
තුරුලිය නටයි තාලෙට එහී
හිරිකඩ වැටෙයි හිරිගඩු පිපී
ඉන්නට හිතයි පොරන් නිදී

බඹ මල්සරා මැද


අහක බලාගෙන ඊතල
මල්සර විද්ද....
අදී ඇවිත් වැදුනේ
මහදේ මන්ද....
නළලේ බඹා කොට ඇත්තේ
ඔබ නොවෙවත්ද....
බඹ මල්සරා මැද ඇත
මා හද ගිනි ගත්ත....

සෙනෙහස මගේ ඔබ හට
පෙනුනේ නැද්ද....
සෙනෙහස ඔබේ මා හට
නොපෙනෙනවා වද්ද....
මේ හැටි දුරස් යැයි ඔබ
මට වැටහෙන්නේ මන්ද...
බඹා කෙටු හී තුඩ තව
මින්දද අත වද්ද........

ධම්මපදය 2


දීඝා ජා ගරතො රත්තී
දීඝං සන්තස්ස යෝජනා
දීඝො බාලනං සංසාරෝ
සද්දම්මං අවිජානතං



නෙතු පිය වසා දෙසවන වසා
සිටියද බලා එළිවන තුරා
සඳ තරු අරා ලොව සතපලා
නිදි නැති නිසා රැය දිගු වෙලා.

නොම නැවතිලා පසු නොම බලා
යන මඟ මෙසේ නොවෙදෝ නිමා
ගමනත විඩා වැඩිකම නිසා
යොදුනක පවා නිම් නැති වෙලා.

මෙ'යුරින් ලොවේ අණුවන දනා
සදහම් සිසිල් නොම දැන ලබා
අකුසළ් කරන් මෝහය නිසා
දිගු කර ගනී සසරත තමා.......

ධම්මපදය 1



යථාපි භමරෝ පුප්ඵං
වණ්ණ ගන්ධං ආහෙඨයං
පළෙති රස මාදාය
ඒවං ගමේ මුනීචාරේ.


ගනිමින් මල් රස මලකින් මලකට
ඉගිලෙන්නාසේ වන බඹරින්දා......

ගනිමින් මල් රස නොතලා මල් පෙති
ඉගිලෙන්නාසේ වන බඹරින්දා......

නොනසා පැහැයද සුවදද මලවට
ඉගිලෙන්නා සේ වන බඹරින්දා......

එපරිදි මුනි තෙම හැසිරෙයි මෙදියත
සංවරකර තම ඉඳුරන්දා............




Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...