26 August 2010

ඉදිකටු හිල.....


ඇස් පේන එකෙකුටවත්
එක සැරේ කරන්න බැරි,
ඉදිකටු හිලට නූල දාන
වැඩේ........
ඇස් පේන්නේ නැති මට
කරන්ඩමයි කියලා
ඇයි බල කරන්නේ.....
මට නම් තවත්
ඉගෙන ගන්ඩ බෑ ඕං.......

23 August 2010

Honda Civic


මගේ කවි පොත කියවලා
ඔයා මට කීවම
ලියල දෙන්න කියලා
කවියක්......
මම මෙලෝ දෙයක් දන්නෙ නැති,
දැක්කට වෙනසකුත් නැති
අනිත්වා වගේම
රෝද හතරක් ඇති,
Honda Civic ගැන.............
මට හිනා ගියා......

19 August 2010

වැටෙන තරුව...


කඩා වැටෙන තනි තරුවක්
බලා ගන්න එක සැරයක්
මම හිටියා රැයක් පුරා
දෙනෙත් යොමා අහස පුරා...

හිතේ තියන එක පැතුමක්
කියා ගන්න එක සැරයක්
මම හිටියා රැයක් පුරා
කඩා වැටෙන තුරු තරුවක්..

13 August 2010

ඉකිබිඳ වැලපෙයි...


රැයක් පුරාවට ඉඟිකරමින් හිද
කාටත් නොකියම සඳ බැස ගිය සඳ
ඉකිබිඳ වැලපෙයි තනි උන තරු මල

සියපත පුබුදා නැඟ ආ රිවි සර
සියපත හකුලා නොපෙනී ගිය සඳ
ඉකිබිඳ වැලපෙයි මුකුලිත සියපත

හිරු සඳු අද නෑ අඳුරුයි මගෙ ලොව
ඔබ මා අතහැර යන්නට ගිය සඳ
ඉකිබිඳ වැලපෙයි බිඳුණු මගේ සිත.

11 August 2010

මම උන්නා


ඔබ හමුවන්නට දවසක් එනතුරු
අතැඟිලි ගැන ගැන මම උන්නා.
ඔබ එනවායැයි මා හට කී විට
බැතියෙන් පේවී මම උන්නා.
නෙත් යුග දල්වා හසකැන් රන්දා
පාර බලාගෙන මම උන්නා.

ඔබ නො එනා වග අදහනු නොහැකිව
කම්පිත වීලා මම උන්නා.
බලාපොරොත්තුවෙ මන්දිර සුන්වී
කම්පිත වීලා මම උන්නා.
දුරකතනයකින් අසුන ඔබේ හඩ
අදහනු නොහැකිව මම උන්නා.

රෑ අදුරට මගෙ කඳුලු මුදා හැර
නොනිදා මුලු රෑ මම උන්නා.
බිඳෙන පැතුම් විතරක් ඇයි මා ලඟ
හිතමින් මුලු රෑ මම උන්නා.
ඉකිබිඳ හඩමින් මා උන්නා.

10 August 2010

ඔබ....


නිසංසල රාත්‍රියේ
තාරකා පාලුවේ,
ඔබ නොමැති මේ රැයේ
මගෙ සිතත් පාලුවේ.

මගේ නෙතු ලඟ ඔබ නොමති විට
එකම මොහොතද කල්පයකි මට,
ඔබේ උණුසුම මට නොදැනෙන විට
මගේ සුසුමද සීත වෙයි මට.

ආදරෙන් මට ලං වෙලා
ඔබේ දෑතින් මා වෙලා
ඔබේ ලමැදේ හොවාලයි නම්,
හිඳින්නෙමි මම නෙත් පියා
කල්පාන්තය වන තුරා...

8 August 2010

අදත් එහෙමයි..


ඈත ඉස්සර දවසක,
වැහි පොද අතරේ
හිරු රැස් දහරේ
තුරු ගොමු සෙවනේ අපි දෙන්නා...
දුරස් නොවී එක බිඳක්වත්
ආදරෙන් හිටියා.

ඈත ඉස්සර දවසක,
ඒ තුරු සෙවනේ
පෙම් මල් පිපුනා අපි වෙනුවෙන්
පෙම් ගී ගැයුනා අපි වෙනුවෙන්
දුරස් නොවී අපි බිඳක්වත්
ආදරෙන් හිටියා.

ඈත ඉස්සර ඒ දවස,
සිහිනයකි බොඳ නොවන
යලි යලිත් නෙත දිලෙන
සිහිනයකි බොඳ නොවන
දුරස් නොවී අපි බිඳක්වත්
ආදරෙන් හිටියා වගේ
අදත් එහෙමයි, එදා වගෙමයි
බොඳ නොවන අපෙ ආදරේ

7 August 2010

මතක සිහින


සිහිනෙන් ඔබ මගෙ
නෙතදර හින්දම
සිහිනෙන් මිදෙන්න
දෙන්නෑ මට හිත
සිහිනයකදි මිස
හැබැහින් කිසි දින
ඔය නෙතු මා ලඟ
නැති බව සත්තක.

ඔබ මා මඟ හැර
වෙනතක හින්දම
හදවත පෑරී
වැළපෙයි ඉකිබිඳ
නොලැබෙන ඔබ ගැන
හඩා පලක් නැත
ඔබ ගැන මතකය
අරගෙන යනු මැන..

6 August 2010

මොහොතක් හෙවත් කල්පය,


දෑඟිලි පැටලී ඔබෙත් මගෙත්,
නෙත් යුග පැටලී ඔබෙත් මගෙත්,
වදනක නොදොඩා කල්පයක් පුරා
අපි දෙන්නා හිටියා....
එනමුදු එය මොහොතක් යැයි හැඟුනා.

ඔබෙ දෙනෙතින් මා වහන් වෙලා
ඔබෙ සුවඳින් මා ඈත් වෙලා
ඔබ ගැන මතකෙන් උමතු වෙලා
එක දවසක් හිටියා....
එනමුදු එක කල්පයකැයි හැඟුනා.

ඔබේ ආදර සාගරේ
සරැළි බිඳෙනා වෙරල මා නම්,
ඔබේ අදර ආකහේ
සොමි කැළුම් දෙන තරිඳු මා නම්
මගේ සැනසුම නිමි නැතී,
මුලු ලොවක් දිනුවා වැනී......

4 August 2010

කවිය

ඔයා නිසා..,
මම ආයෙත් කවි ලියනවා,
මෙතෙක් කලක් නොලිය හිටිය,
මගේ කවිය මම ලියනවා.

ඔයා මැව්ව හීන ලෝකෙ,
මට නොදැනිම බොඳ උනහම,
හිතට දැනුන දුක හින්දම
මම ආයෙත් කවි ලියනවා.

2 August 2010

ඔයා...


ඔයා මට දෑතම දුන්නම
මට ආදරෙයි කියලා,
මගේ මුළු ලෝකෙම
එකම සැණකෙළියක් කරලා,
හුස්ම ගන්නත් බැරි උනා මට
මම දකින්නෙම හීනයක් කියලා...

ඔයා මට දෑතම දුන්නම
ඉගිල්ලෙමු අනන්තයටම කියලා,
නොසිතාම දෙසරයක්
අතගත්ත ඉගිල්ලෙමු කියලා,
දැන දැනත් ඉගිලෙන්න
පියාපත් මට නෑ කියලා...

ඔයා මට මුලු ලෝකයක් පෙන්නලා
අනන්ත අහසේ මා එක්ක ඉගිල්ලිලා
එක සැරේ .....
නැවතුනා...... ඔයා...

සත්තකයි, හිතුවෙ නෑ
මගේ අත අතහරියි කියලා,
අනන්ත අහසේ ඉදන්
ඔයා පෙන්නපු ලෝකෙම කඩාගෙන,
මම වැටුනා....
මහ පොලවට....
ඔයා...
ඉගිල්ලිලා යන්න ගිහින්.

මම තාම ඔයා එනකම්,
ඔයා දුන්නු හීනත් අත දරන්,
දෑස කඳුළින් තෙත් කරන්,
බලා ඉන්නවා........

1 August 2010

පියාපත්......


මට ඕනි නෑ තනි වෙන්න,
තනි වෙලා වැලපෙන්න.
මට ඕනි ඉගිලෙන්න,
ඉගිලිලා ඔබ වෙත එන්න.

උනුසුමට දැවටෙන්න,
ඒ සුවද විඳගන්න,
ආදරෙන් හිනැහෙන්න,
ප්‍රීතියෙන් ඉපිලෙන්න,

අනේ! මට ඉගිලෙන්න
ඉගිලිලා ඔබ වෙත එන්න
ඇයි අම්මෙ දුන්නැත්තෙ
පියාපත් මට දිග හැරෙන.......
Related Posts Plugin for WordPress, Blogger...