15 January 2013

ඔබ එය දන්නවාද නොදනී....




හිරු සඳු එළිය ගත්තෙ ඔබෙනී
බඹරුන් පාර ඇසුවෙ ඔබෙනී
සියොතුන් ගීත ගත්තෙ ඔබෙනී
ඔබ එය දන්නවාද නොදනී.........

තරු වල සිසිල ඔබෙන් ලැබුනී
මල් වල සුවඳ ඔබෙන් ලැබුනී
නෙතකට නින්ද ඔබෙන් ලැබුනී
ඔබ එය දන්නවාද නොදනී..........

මුලු ලොව එරෙහි වෙලා පෙනුනී
සසරම දුකක් ලෙසට දැනුනී
කඳුලට නිමක් නොමැති ලෙසිනී
ඔබ එය දන්නවාද නොදනී
ඉන්නේ කෙළෙස දුකක් නොදැනී
මා හට වටහ ගන්න නොහැකී.........

14 January 2013

මිරිඟුවකි


ආදරය මිරිඟුවකි,
සිතක් නෑ මට ලුහුබඳින්නට
දුකක් විතරයි තවත්,
සිසිල් දිය නෑ මගේ පවසට
උමතු වූවන් දකින්නෙමි මම
ලුහු බැන්ඳ නොනැවතී ආදරේ මිරිඟුවම
මියෙන්නෙමි මම පිපාසෙන්,
යෙහෙකි මිඟුවට වඩා එය

20 August 2012

ඔබ ගියදා......

















ඈත ඔබ දුර ඈත ගියදා
මගේ සිත ගිනි ලොවක දැවුනා,
නිවාගන්නට බැරිව තනිකම
කඳුල ගින්නට පාර කිව්වා.......

මහ රෑක සඳ පෑයු දිනකදි
සඳට මම මගේ දුකම කිව්වා,
සීත පවනට ඔබ සොයාගෙන
ඔබෙ සුවඳ ගෙන එන්න කිව්වා.....

විඩාබර මගෙ දෑස් වැසුවෙමි
සිහිනයක් වී ඔබම පෙනුනා,
දින ඉගිල්ලුනි ඔබ උන්නු කල
ඒත් ඇයි දැන් හෙමින් සිතුනා...........

25 January 2012

මට නොපායපු මගේ සඳ




ඔබ එනෙන වග දත් නිසා
ඊයෙටත් වැඩියෙන් හැඩවෙලා
පුන් පෝය දා උදේ ඉඳලම
මගේ ගෙමිදුල හැඩකලා

මිදුල හතරකොන වැට තනා
ඉනි කඩුල්ලද කලියෙන් වසා
බලා උන්න ඔබ නැගෙන තුරු
මගේ පිල් දොරකඩ වෙලා

ඔබ පෑව්වම මගේ මිදුලට
ඒ සඳ එලියෙන් හෙවනැලි මැවුනම
කාටත් නෑ ඒ සිසිලස මටමයි
ගන්නත් බෑ මගෙ ඉනි වැට හයියයි

පිලේ පැදුරේ දිගැදිලා
ඔබේ උවනත දෙස බලා
ඉන්නවා මම පහන් වෙනතුරු
ඔබ මගෙන් නික්මෙන තුරා

ඔබ පෑව්වම මගේ මිදුලට
එලිය වෙයි මගේ දුගී පැල්පත
ඔබේ සෙනෙහේ සිසිල් සුවයෙන්
සැනහේවි මේ කුමුදු මල් වුව

නැති හින්ද වෙන කාටවත්
බැරි හින්ද එය ගන්නටත්
උන් බලයි ගෙමිදුල දිහා
ඉරිසියා නෙත් කරකවා

ඉපිල යනවා සිත මගේ
පායා එයි සඳ නුබ ගැබේ
ඔබ මගේ සඳ ඔබ මගේ
කෑගසයි හදවත මගේ
.
.
.
.
.
.
මම හිතුවේ.......
මම හිතුවෙ මට කියල විතරයි
ඒත් ඇයි අර එහා ගෙදරත්
ඔබේ සුදුමුදු රිදී එලියෙන්
ගෙමිදුලේ රූ රටා ඇදිලා.......

කොහොම ඉන්නද ඉවසලා
කදුලු යයි දෙනුවන පලා
මගෙම විතරයි සිතා උන්නත්
කෝ නෑනේ මට විතරක් වෙලා.......

ඔබ මගෙම වූ සඳ නොවේ
මටම පෑයූ සඳ නොවේ
වෙනද වාගේම හැමට පායන
පුන් පෝයදා සඳම වේ.......

බලා ඉමි නෙත් බොඳ වෙලා
ඇයිද මා මේ රැවටිලා
සිතේ ගිනි දලු ඇවිල එද්දී
ඔබ හිඳී අහසට වෙලා....
මට නොපායපු මගේ සඳ ඔබ
ඔබ හිඳී අහසට වෙලා......

25 November 2011

මට මගේ ලඟ ඔබ තරම් නෑ.....




නුඹ ඇවිත් මගේ සිත හොරාගෙන
කවි ලියන්නට බැරි වෙලා මට...
ඒත් කම් නෑ අනේ මට නම්
මගේ අසලම ඔබ හිඳීනම්,

අඳුරෙ තනි වුනු කිරිල්ලිය මම
මට එලිය දුන් සරා සඳ ඔබ
මගේ ගීතය මම ගයන්නම්
එය අසන්නට ඔබ හිඳී නම්,

කවියකින් මට ලියන්නට බෑ,
ආදරේකට කවිය ඉඩ නෑ,
ලොවම නැති උනත් හිතට දුක නෑ
මට මගේ ලඟ ඔබ තරම් නෑ......

20 August 2011

මල සහ සඳ




සඳ නැගෙන තුරු අහස් තලයට
මලක් පිබිදී ඇත බලා,
නුබ පුරාවට හඳ පෑවුවට
සඳට කම්නැත මල දිහා......

සඳ ඇවිත් හෙමි හෙමින් අහසට
තරු එක්ක දඟකර සිනා,
හනික බැසයයි තරුත් එක්කම
සඳට නැහැ මල ගැන වෙලා....

නෙතු කඳුළු විත් මලේ පෙති මත
සැළී දිළිසෙයි සඳ නිසා,
ඉකිබිඳින මල සඳට නෑසෙයි
සඳට කඳුලද පිනි නිසා...

හිතට රිදුනද කඳුළු පිරුනද
මලේ නෙතු ඇත සඳ අරා,
කිසිම දිනකදි නොබැලුවත් සඳ
මල හිඳී අහසම බලා.....

17 August 2011

ඔබ එනතුරු,




හිතට දැනෙන දුක නිවනා
මගේ පන්හිඳ වියලුනාම
කොහෙදෝ සිට ඔබ ඇවිදින්
මට පෙම් පන්හිඳක් දුන්න
මගේ සපුමල ඒ පන්හිඳ
කවි පබඳී ඔබේ ගැනම,

ඔබ ඇවිදින් ගියපු විටදි
සිත පාලුයි දරනු නොහැකි
මගෙ සපුමල ඔබේ සුවඳ
මගේ ලඟින් තියා යන්න
මගෙ තනියනට මගේ ලඟින්
ඔබ එනතුරු බලා ඉන්න.....

හොරෙන් හොරෙන් නිතර බලන
ඉදල හිටල කතාකරන
මගේ සපුමල ඔය නෙත් වල
කැළ්ම බිඳක් තියා යන්න
ඔබ එනතුරු ඒ කැළ්මෙන්
මට පුලුවනි මඟ බලන්න...

ඔබේ ලඟින් හිඳින විටදි
මෙමට දැනෙන සුසුම් රැල්ල
මගෙ සපුමල එහි උනුසුම
මගෙ උවනේ තවරා යන්න
ඔබ එනතුරු මේ සීතල
ඒ සුසුමින් වලකගන්න...

Related Posts Plugin for WordPress, Blogger...