3 November 2017
2 November 2017
15 January 2013
ඔබ එය දන්නවාද නොදනී....
හිරු සඳු එළිය ගත්තෙ ඔබෙනී
බඹරුන් පාර ඇසුවෙ ඔබෙනී
සියොතුන් ගීත ගත්තෙ ඔබෙනී
ඔබ එය දන්නවාද නොදනී.........
තරු වල සිසිල ඔබෙන් ලැබුනී
මල් වල සුවඳ ඔබෙන් ලැබුනී
නෙතකට නින්ද ඔබෙන් ලැබුනී
ඔබ එය දන්නවාද නොදනී..........
මුලු ලොව එරෙහි වෙලා පෙනුනී
සසරම දුකක් ලෙසට දැනුනී
කඳුලට නිමක් නොමැති ලෙසිනී
ඔබ එය දන්නවාද නොදනී
ඉන්නේ කෙළෙස දුකක් නොදැනී
මා හට වටහ ගන්න නොහැකී.........
14 January 2013
20 August 2012
ඔබ ගියදා......
ඈත ඔබ දුර ඈත ගියදා
මගේ සිත ගිනි ලොවක දැවුනා,
නිවාගන්නට බැරිව තනිකම
කඳුල ගින්නට පාර කිව්වා.......
මහ රෑක සඳ පෑයු දිනකදි
සඳට මම මගේ දුකම කිව්වා,
සීත පවනට ඔබ සොයාගෙන
ඔබෙ සුවඳ ගෙන එන්න කිව්වා.....
විඩාබර මගෙ දෑස් වැසුවෙමි
සිහිනයක් වී ඔබම පෙනුනා,
දින ඉගිල්ලුනි ඔබ උන්නු කල
ඒත් ඇයි දැන් හෙමින් සිතුනා...........
25 January 2012
මට නොපායපු මගේ සඳ

ඔබ එනෙන වග දත් නිසා
ඊයෙටත් වැඩියෙන් හැඩවෙලා
පුන් පෝය දා උදේ ඉඳලම
මගේ ගෙමිදුල හැඩකලා
මිදුල හතරකොන වැට තනා
ඉනි කඩුල්ලද කලියෙන් වසා
බලා උන්න ඔබ නැගෙන තුරු
මගේ පිල් දොරකඩ වෙලා
ඔබ පෑව්වම මගේ මිදුලට
ඒ සඳ එලියෙන් හෙවනැලි මැවුනම
කාටත් නෑ ඒ සිසිලස මටමයි
ගන්නත් බෑ මගෙ ඉනි වැට හයියයි
පිලේ පැදුරේ දිගැදිලා
ඔබේ උවනත දෙස බලා
ඉන්නවා මම පහන් වෙනතුරු
ඔබ මගෙන් නික්මෙන තුරා
ඔබ පෑව්වම මගේ මිදුලට
එලිය වෙයි මගේ දුගී පැල්පත
ඔබේ සෙනෙහේ සිසිල් සුවයෙන්
සැනහේවි මේ කුමුදු මල් වුව
නැති හින්ද වෙන කාටවත්
බැරි හින්ද එය ගන්නටත්
උන් බලයි ගෙමිදුල දිහා
ඉරිසියා නෙත් කරකවා
ඉපිල යනවා සිත මගේ
පායා එයි සඳ නුබ ගැබේ
ඔබ මගේ සඳ ඔබ මගේ
කෑගසයි හදවත මගේ
.
.
.
.
.
.
මම හිතුවේ.......
මම හිතුවෙ මට කියල විතරයි
ඒත් ඇයි අර එහා ගෙදරත්
ඔබේ සුදුමුදු රිදී එලියෙන්
ගෙමිදුලේ රූ රටා ඇදිලා.......
කොහොම ඉන්නද ඉවසලා
කදුලු යයි දෙනුවන පලා
මගෙම විතරයි සිතා උන්නත්
කෝ නෑනේ මට විතරක් වෙලා.......
ඔබ මගෙම වූ සඳ නොවේ
මටම පෑයූ සඳ නොවේ
වෙනද වාගේම හැමට පායන
පුන් පෝයදා සඳම වේ.......
බලා ඉමි නෙත් බොඳ වෙලා
ඇයිද මා මේ රැවටිලා
සිතේ ගිනි දලු ඇවිල එද්දී
ඔබ හිඳී අහසට වෙලා....
මට නොපායපු මගේ සඳ ඔබ
ඔබ හිඳී අහසට වෙලා......
25 November 2011
මට මගේ ලඟ ඔබ තරම් නෑ.....
20 August 2011
මල සහ සඳ
සඳ නැගෙන තුරු අහස් තලයට
මලක් පිබිදී ඇත බලා,
නුබ පුරාවට හඳ පෑවුවට
සඳට කම්නැත මල දිහා......
සඳ ඇවිත් හෙමි හෙමින් අහසට
තරු එක්ක දඟකර සිනා,
හනික බැසයයි තරුත් එක්කම
සඳට නැහැ මල ගැන වෙලා....
නෙතු කඳුළු විත් මලේ පෙති මත
සැළී දිළිසෙයි සඳ නිසා,
ඉකිබිඳින මල සඳට නෑසෙයි
සඳට කඳුලද පිනි නිසා...
හිතට රිදුනද කඳුළු පිරුනද
මලේ නෙතු ඇත සඳ අරා,
කිසිම දිනකදි නොබැලුවත් සඳ
මල හිඳී අහසම බලා.....
17 August 2011
ඔබ එනතුරු,
හිතට දැනෙන දුක නිවනා
මගේ පන්හිඳ වියලුනාම
කොහෙදෝ සිට ඔබ ඇවිදින්
මට පෙම් පන්හිඳක් දුන්න
මගේ සපුමල ඒ පන්හිඳ
කවි පබඳී ඔබේ ගැනම,
ඔබ ඇවිදින් ගියපු විටදි
සිත පාලුයි දරනු නොහැකි
මගෙ සපුමල ඔබේ සුවඳ
මගේ ලඟින් තියා යන්න
මගෙ තනියනට මගේ ලඟින්
ඔබ එනතුරු බලා ඉන්න.....
හොරෙන් හොරෙන් නිතර බලන
ඉදල හිටල කතාකරන
මගේ සපුමල ඔය නෙත් වල
කැළ්ම බිඳක් තියා යන්න
ඔබ එනතුරු ඒ කැළ්මෙන්
මට පුලුවනි මඟ බලන්න...
ඔබේ ලඟින් හිඳින විටදි
මෙමට දැනෙන සුසුම් රැල්ල
මගෙ සපුමල එහි උනුසුම
මගෙ උවනේ තවරා යන්න
ඔබ එනතුරු මේ සීතල
ඒ සුසුමින් වලකගන්න...
20 April 2011
ගීතයක්....
4 April 2011
කියන්න ......

සීත සඳ කිරණ
මගෙ ලොවේ අතුරන්න
කියන්න සදවත
කොහෙ සිටද ඔබ අවේ....
එළිය උන මගෙ ලොවට
පෙම් සුවඳ තවරන්න
කියන්න සපුමල
කොහෙ සිටද ඔබ අවේ....
මිලින දෙතොල් මගෙ
උණුසුමින් පුබුදන්න
කියන්න පෙම්වත
කොහෙ සිටද ඔබ අවේ....
දඟකරන ඇස් වලින්
හොරෙන් දොඩමලු වෙන්න
කියන්න තරු ඇස
කොහෙ සිටද ඔබ අවේ....
කොහේ දෝ සිට ඇවිත්
හදවතේ මගෙ ලැඟුම් ගෙන ඔබ
කියන්න මගෙ සඳ
ආදරෙයිද මට...????
9 February 2011
වසන්තේ

අඳුරු සීතල සමය නිමවී
උදා වෙයි නව වසන්තේ
සිතුම් ලියලන හැඟුම් පුබුදන
සුපෙම්බර වූ වසන්තේ
සියොත් කැළ පෙමින් බැඳෙනා
ගීත ගයනා වසන්තේ
සුපෙම් මල් තැනින් තැන
පිපී හිනැහෙන වසන්තේ
මගෙත් ඔබගෙත් ප්‍රේම ලෝකෙට
ළහිරු නැඟෙනා වසන්තේ
එ'හිරු කිරණින් පිපී සපුමල්
සුවඳ හමනා වසන්තේ
දෑත් යුග පටලවා අනන්තය වෙන තුරා
ඇවිද යමු අපි වසන්තේ
දුක් සුසුම් නැති අපේ ලෝකෙට
සිනා ගෙනෙනා වසන්තේ
3 February 2011
ඔබට පිදුව මල....
28 January 2011
මම ඉන්නෙමී

ඔබෙ සුසුම් මා කොපුලත වැදී
උණුසුමත් සුවඳත් තවරා යතී
ඔබෙ දෙනෙත් සර මා නෙත වැදී
ආදරය ගැන පවසතී
මේ රැය ගෙවන්නේ කෙළෙසදෝ මා
ඔබේ මතකය හද ඇතී
ඔබ ගැනම සිත විමසතී
හෙට නැඟෙන හිරු පමා ඇයිදෝ
මගේ සිත තැවුලෙනී
හෙට ඔබව හමුවේවිදෝ
මගේ සිත පැතුමකී
මගෙ අඳුරු ලොව ලහිරු ඔබදැයි
මගේ සිත විමසතී
මගෙ ලොවට ඔබ එලිය දෙනකම්
නෙතු අයා මම ඉන්නෙමී
එනතුරා ඔබ ඉන්නෙමී
21 January 2011
ආදරය පුදන්නම් මහමෙර සේ ලඟින් හිදින්නම් හිරු සඳු සේ

මහ රැයක් වගේ මා අඳුරුයි නම්
සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
විල් දියේ පිපුන මා නෙලුමක් නම්
මා වටා රඟන බඹරිඳු ඔබ නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් ඉදින්නම් හිරු සඳු සේ
සඳ එලිය වගේ ඔබ නුදුරුයි නම්
අමාවකට බැස නොයනවනම්
මා වට රඟන බඹරිඳු ඔබ නම්
ඔය තුඩඟින් මට නොරිදයි නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ
සිතින් ගතින් මට නුදුරුයි නම්
දෙනෙත් දෙතොල් මට නුදුරුයි නම්
සසර පුරාවට ඔබ මගේම නම්
ආදරය පුදන්නම් මහමෙර සේ
ලඟින් හිදින්නම් හිරු සඳු සේ
20 January 2011
මගේ තනියට

ඔබ ඇවිත් යන්න එන්න
තව එකම එක වරක්
මට සිනා නඟා යන්න
එන්න තව වරක්..
මුදු සුලඟ ඇවිත් ඔබෙ සුවඳින්
මා හද පුරවයි
ඔබ ලඟින් සිටින විට දැනෙනා
සපුමල් සුවඳයි..
රෑ අඳුර මැදින් ඔබ විත් මගේ
ලොවම එලිය කර
තව එකම එක වරක් ඇවිදින්
යන්න සඳවත
මගේ සිත් මල පෙති විහිදා
පිපේවි එතකොට
ඒ සිත් මල මගේ තනියට
ඉදීවි සදහට
මගේ ලඟින් මතක සුවඳ
තියේවි සදහට...
21 December 2010
ටොයිලට් කතා 2

අමුතුවෙන් අමුතුවෙන් කියන්ට දෙයක් නෑ මම කත ලියන්නේ අවාරෙටනේ......
ආය ඉතින් වහෙන් ඔරෝ ඔහෙන් වරෝ ඕනි නෑ ඔන්න කතාව...
ටොයිලට් කතාවක් උනාට මේ නෑමක් නෙවෙයි. යෑමක්.....
අපේ තත්තා අවිල්ලා මහා කලු සින්හලයෙක්.... මට අදටත් තියන ලොකුම ලොකු විසදගන බැරි උන ගැටලුවක් තමා... ඇයි අපේ අම්ම තාත්තට කැමති උනේ කියලා.හේතුව අපෙ අම්ම හොද සුදු සීදේවි කොන්ඩෙ දිගම දිග ලස්සනම ලස්සන කෙනෙක් ..... අන්න ඒකට තත්තා කලුම කලුයි... ඒ නිසා අපි ලමයි එක්කෙනෙක්වත් අම්ම වගේ ලස්සන නෑ.... තාත්ත වගේ තම ලස්සන.......ඒ වගේ කලුම නෑ තම ඉතින් එත් අම්ම වගේ සුදු නෑ... :(
අපේ තත්තට ඉන්නවා අතීජාත මිත්‍ර සේනාවක්.... නිවාඩු කාලෙට ඔය සේනාවම එනවා අපේ ගෙදර....ඒ කියන්නේ අම්පාරේ ඉදන් රත්නපුරේ එනවා... මොකො අපේ ගම අම්පාර... තාත්තට මාරු වීමක් ආ නිසා තමා අපි රත්නපුරේ ආවෙ.. අනේ 15ක් 20ක් ආවට පාඩු නෑ මොකෝ කිව්වොත් කට්ටියම එනකොට එන්නේ හාල් පොල් එහෙම අම්පාරෙන් පටව ගෙන.. සියඹලාන්ඩුව දිහාදි කොමඩු කැකිරි පිපින්ඤ්ඤා එහෙමත් අරගෙන..... බෙරගල දිහාවෙදි කැරට් බීට් ලීක්ස් අල ගෝව එහෙමත් අරගෙන. ඉතින් කට්ටියම එකතුවෙල අම්පාරෙ ඒකොනේ ඉදන් මේ කොනටත් මේ කොනේ ඉදන් ඒකොනටත් තොර තෝන්චියක් නැතිව අපේ අම්මටයි තත්තටයි කියනවා, කියන ගමන් උයනව, උයනගමන් පිරිමි උදවිය බොනවා... අපි.... කැරම් ගහනවා බූරුව හොයනවා, අන්තිමටම අම්මලට ඇන සෙට් එකක් වෙනවා....
තාත්තලාගේ බීම කොයි තරම් රෑ උනත් ඉවර වෙන්නේ නෑ... මම ආසම ඒ රෑ කාලෙට.. තාත්තලා රෑ උනහම සින්දු කියනවා අපේ තාත්තට සින්දු කියන්ට පුලුවන් මටත් පුලුවන්... ඉතින් අපි හෑමෝම සින්දුකියනවා..... නටනවා ..... හරිම විනෝදයි...මම හුගක් පරන සින්දු දැනගත්තේ තාත්තල මේ විදිහට කියනව නිසයි... අපේ තාත්ත ආසම මම තාමත් තාත්ත කියනව ඇරෙන්න වෙන කොහෙන්වත් අහල නැති සින්දුවක් තමා 'ලෝ අඩ නින්දේ මේ රෑ යමේ' කියන්නේ... පස්සේ කාලේක ඒක ඇහුවට මට ඒක ලස්සන නෑ තාත්ත කියනව තරම්.. එතකොට අපේ තාත්ත තව ආස සින්දු තමා.. එන්න මද නලේ.. පින් සිදු වන්නේ.. මූදු පතුල යට ඉදලා.... එතකොට ඔය මේ නගරය , කබාය ඉරිලා ඊට කමක් නැ, තරුද නිදන මහ රෑ,තව එයා අලුතෙන්ම කැමති උන එක තමා සේපලික මලයි සුදු පාට මීදුමයි.. ඉතින් මමත් ඒව සේරටම කැමතී..
හරි හරි ඔන්න කතාවට අවා...... ඉතින් ඔන්න මම 6 පන්තියෙ විතර ඇති. කට්ටිය ඔය කිව්ව විදිහට ඇවිල්ල රෑ ගීත සාජ්ජේත් ඉවර උනා.... පහුවෙනිද කවුරු කවුරුත් නැගිට්ට දවල්ට උයාගෙන් බෝපත් ඇල්ලේ යන්ට කියල.... වෙලාව උදේ 8.30 ට 9 විතර වෙන්ට ඇති... අපේ තාත්තගේ නියපොතු කෑමට අමතරව තියන තව පුරුද්දක් තමා ටොයිලට් එක බදු ගැනීම,, එයාට වෙන කරන්ට යමක් නැතිනම් ඉතින් ටොයිලට් එකෙන් එලියට එන්ට අඩුම ගානේ වි45 යනවා... මක්කා.... කොරනවද මන්ද අතුලේ...ඒ ජානම නිසාද මන්ද පේ අයියත් එහෙමයි... ගෙදර ටොයිලට් දෙක තුනක් තියන නිස හොදා...
ඔන්න ඉතින් වෙනද වගේ තාත්තා ටොයිලට් ගියා.. යනකොට මට මතකයි අපේ අම්මා හිනා උනා අනේ බන් අද බෝපත් ඇල්ලේ යන්ට වෙන්නේ හවසට තමා... කියලා....
ඉතින් දැන් කට්ටිය ගජරාමේට කපනවා රහිනවා... කොටනවාතෙලට දානවා ඔතනවා.. කොටින්ම කට්ටියම උයනවා.... එතකොට අපි පොඩි ඈයෝ නාන්ට යන්ට තතනනවා.. කොලු බට්ටො ටික තම තමන් පීනන්ට දන්න ආකාරය එතකොට සැරට මූනට වතුර විදිනාකාරය ගැන එහෙම කියනවා...
මම අහන් ඉන්නවා ඒ අතරේ,,,
" කෝ දූ තාත්තා,,"
"ටොයිලට් එකේ"
" තාම"
ඒ පාර එම පැනයම අම්මගෙන්
" කෝ සන්ධයා අක්කේ කුලේ.."
"ඇයි ඒ පැත්තේ නැද්ද.... හරි හරි අපි උඅයල ඉවරයි ... මේව හිමිහිට වෑන් එකට දාමු ගාමිනි.. දැන් 12 කිට්ටුයි.. පිටත් වෙන්ට හිටියේ 10.30.."
"කුලසිරි ඒ පැත්තේ නෑ මම හිතුවෙ කට්ටියත් එක්ක උයනව කියලා...... කුලේ...... කුලේ......... කෝ කතාකරන්නේත් නැ"
ඔන දැන් කට්ටිය තාත්තව හොයනව.... තාත්ත නෑ.... ඔන්න කව්දෝ ජගතේක් හොයාගේන් අපේ තාත්තා තාමත් ටොයිලට් එක කියලා... පැය2ක් 3ක් වෙන්ට ඇති.... කට්ටියම දැන් දොරට තඩි බානව ම්ම්ම්ම්හ මොනම සද්දයක්වත් නෑ...
කට්ටිය හොදටම බය වෙලා අන්තිමට එලියට ඇවිත් බාත්‍රූම් එකෙ ජනේලෙ ලගට ඉනිමග තිබ්බා.... හැමෝම තක්බීර් වෙලා....
තාත්තට මොනාහරි වෙලා ... එකයි කිසිම සද්දයක් නැත්තේ... කුමාරි ඇන්ටි අඩන්න වගේ..
මම හොදටම බය උනා කලු උනත් තාත්ත මගේ....ඉනිමග තියලා ගාමිනි මාම එකේ නැගල ජනේලෙ බින්දා ඒත් එයා ඇතුලවත් බලන්නේ නැතුව බිමට බැස්සා...
"අනේ මට නම් බලන්න බෑ සන්ධයා කුලේ කොමඩ් එකේ ඉන්නව වගේ"
අපේ අම්ම බල බලා උන්නේ නෑ නැග්ග ඉනිමග දිගේ
"ඒයි.......... ඒයි......." (ඒ දෙන්නට දෙන්න ඒයිලනේ..)
බිම ඉන්න අය සේරම තක්බීර් වෙලා උඩ බලන් ඉන්නවා.... ඇයි තාත්ත කතා නොකරන්නේ මටත් නගින්ට තිබ්බේ ඉනිමග දිගේ
"ඒයී...... කතා කරන්නකො ඒයි"
අම්මට ඉවසීම පැනලද කොහේද.... ජනේල් පඩිය උඩ තිබුන හාපිc බෝතලේන් තාත්තට ගැහුවා........ ඔන්න එතකොට ටොයිලට් එකෙන් සද්දයක් ආවා...
" හ්හ්ම් ම්ම්හ් ඇයි ඇයි... ම්ම්හ්......... හරි හරි.. නැගිටින්නම් නැගිටින්නම්...ම්ම්ම්හ් හ්හ්ම්ම්ම්...... හරි හරි..... නැගිට්ට නැගිට්ට.... ම්ම්හ්... ම්..හ්ම්ම්ම්හ්.."
"ඇයි මනුස්සයෝ අපි බය උන තරම්ක්.."
" ම්ම්හ් හ්හ්ම්ම් හරි හරි ඔන්න නැගිට්ට... නිදිමතයි අප්පා....."
අපේ අම්මා අඩි දෙකෙන් බිමට බැහැල වටේ පිටේ විස්සෝප වෙලා බලා හිටි හැමෝටම ඇහේන්න මෙන්න මෙහෙම කිව්ව ..
" කුලේට කොමඩ් එක උඩම නින්ද ගිහින්.......... ගාමිනී.. ජනේලෙට වීදුරුවක් දාන්ට වෙයි..."
මේක අවිල්ල ටොයිලට් එකේ නින්ද යෑම පිලිබන්ද කතාවකි.
13 December 2010
ගැඹුරුම තැන

බොහෝ කාලෙකින් කවි නොලී හින්දම
මගෙ හිතත් පාලුවෙන් හින්දම
අපේ ආදරේ ගැඹුරුම තැන ගැන
ලියන්නට යමි පන්හිඳෙන් මම
කොහේද කොතැනද නොපෙනුනත් එය
දෙසිත අපෙ ඒ ගැඹුරේ ගිලී ඇත
වෙන් නොවෙන සේ සිත් වෙලී ඇත
ගලක වූ කැටයමක් විලසින
කිසිවෙකුගේ නෙත් යා නොවන හින්දම
ඒ ගැඹුර පිවිතුරුය පුන් සඳක් වාගෙම
කිසිම දෑතක් නොගැටෙන හින්දම
ඒ ගැඹුර පැහැදිලිය නිල් විලක් වාගේම
ගැඹුරු වූ අප ආදර විලේ
ප්‍රේමයේ සියපත් පිපේ
ආදරෙන් බැදි අප ජීවිතේ
එසුවඳින් මිහිරි වේ..
30 November 2010
Seasons in London
හොඳටම සීතලයි. මේ අවුරුද්දෙ කලින්ම සීතල කාලෙ අවිත්. ඒ මදිවට හිමත් වැටෙන්න පටන් අරන්. තාම නොවැම්බරේ..... :( එපා වෙන්නෙ ඔන්න ඔය වෙලාවට තමා.
මගේ ලඟ තියනව මම ගිය අවුරුදුවල සීත කාලේ ගත්ත පින්තූර වගයක්. ඔන්න ඔයාලත් ගිහින් බලන්නකෝ. සීත කාලේ කීවට සීත කාලේම නෙවෙයි. මෙහෙ සෘතු වෙනස් වීම.
click ; Seasons in London
25 November 2010
කියා යන්න

සඳ එලිය වගේ මුදු සිනහ සැලූ
මද පවන වගේ සිත සිසිල කෙරූ
බිඟු ගීත වගේ පේම් වදන් කියු
ආදරය කොහිද ඔබ එද කියු
ගිනි පුලිඟු වගේ රුදු බැලුම් හෙලා
සුලි සුලඟ වගේ සිත සසල කලා
මහ අකුණු වගේ නෙක බැනුම් දොඩා
ආදරය කොහිද ඔබ කියූ එදා
මහ වැස්සේ නිල් කුඩේ යට හිඳ
ඔබේ උණුසුමට මාව තුරුලු කර
වැහි බිඳු පිසලා හිස පිරිමදිමින්
කියා දුන්න සෙනෙහේ
දෙව් ලොවක මිහිර මැවුනේ
නිල ගගන තරම් සාගරය තරම්
මා ඔබට පිදුව සෙනෙහේ
කෙලෙසද මේ හැටි මා රිදවන්නේ
කියා යන්න මිහිරේ
දුක නැතිද ඔබට දැනුනේ...
Subscribe to:
Posts (Atom)


.jpg)



